Advertistment

http://raterahas.blogspot.com/
www.nethgossip.info
http://www.nethgossip.info/
http://www.nethgossip.info/
www.gossiphug.com

Saturday, October 1, 2016

සංගීත ගුරුවරියගෙන් හොඳම පාඩම ඉගෙනගත් විදුහල්පති

මේ ගෙවෙන්නේ මුළු රටම ගිරග්ග සම-ජයක්‌ වූ කාලයක්‌ බව කිව හැකිය. එක පැත්තකින් සමාජය උතුරා පෙරා බසින මත් වතුරය. තව පැත්තකින් කාමයෙන් උන්මාද වූ බහුතරයය. කෙල්ලෙක්‌ නොව කොල්ලෙකුට පවා පාරට බසින්නට බැරි කාලයක්‌ රටට උදාවී තිබේ. මහානාම විදුහලේ විදුහල්පති කෝලමක්‌ විසින් රඟ දක්‌වන ලද අනංග රංග නාඩගමක, අවසාන තීරණය ශේ්‍රෂ්ඨාධිකරණය විසින් පසුගියදා ලබා දෙනු ලැබීය.

මහානාම විද්‍යාලය මිට කාලයකට පෙර රටේ ප්‍රසිද්ධව තිබුණේ කොළඹ ප්‍රධාන පෙළේ පාසලක්‌ ලෙසය. නමුත් එය දැන් රටේ ප්‍රසිද්ධ වී තිබෙන්නේ සෙල්ලක්‌කාර විදුහල්පතිවරුන්ගේ ‘අල්ලං සෙල්ලං’ ක්‍රියා නිසාය. මහානාමයේ එක්‌ විදුහල්පතිවරයෙකු විවාහක ගුරුවරියක සමඟ රහසේ පැනගියේ රස්‌තියාදු ගහන අමන කොල්ලෙකුගේ භූමිකාවට පණ දෙමිනි.

සිද්ධියට සම්බන්ධ ගුරුවරිය රූපවාහිනි නාලිකාවක උදෑසන වැඩසටහන් මෙහෙය වූ, රූමත් නිවේදිකාවකි. ඇය රූපවාහිනියේ කටයුතු කරන කාලයේ එම ආයතනයේම සිටි සේවකයෙකු හා යුග දිවියට එළැඹි අතර පසුව ඔවුනට දරුවෙකුද ලැබුණි. රූපවාහිනී වැඩසටහනකට සහභාගිවීම සඳහා ගිය විදුහල්පතිවරයා සමඟ සාකච්ඡා කරමින් වැඩ සටහන මෙහෙයවන ලද්දේ රූබර නිවේදිකාවය. ඇයගේ රූබර බව සල්ලාල විදුහල්පතිවරයාට දරා ගත නොහැකිව ගියේය. විදුහල්පතිවරයා නිසි වයසේදී විවාහ වී සිටියා නම් ඔහුට නිවේදිකාවගේ වයසේ දුවලා සිටිය යුතු විය. කෑදරකම ඉහවහා ගිය විදුහල්පතිවරයා, හොර පාරෙන් හම්බු කරන ලද සල්ලි වියදම් කරමින් නිවේදිකාව ඩැහැ ගැනීම සඳහා උපාය රාශියක්‌ යෙදවීය. ටික කාලයකින් නිවේදිකාවට, මහානාමයේ ගුරු පත්වීමක්‌ ලැබුණි. ඒ අමුතු ක්‍රමයකට බව වාර්තා විය.

විශ්‍රාම ලැබීමට ආසන්න වයසේ පසුවන පනස්‌ හය හැවිරිදි විවාහකයෙකු වන විදුහල්පතිවරයා මෙම ගුරුවරිය සමඟ කාලයක්‌ තිස්‌සේ අනියම් සබඳතා පවත්වමින් සිට, එය දුරදිග ගොස්‌ දෙදෙනාට එකට ජීවත්වීමේ අවශ්‍යතාවයක්‌ පැනනැගී ඇත. ඒ සමඟම පවුල් දෙක කඩා ඉහිරී විදුහල්පති සමඟ ගුරුවරිය පැන ගියාය.

ඒ මහානාමයේ එක්‌ විදුහල්පතිවරයෙකුගේ ක්‍රියා කලාපයය.

නඩු තීන්දුවකින් බැට කෑ අනෙක්‌ විදුහල්පතිගේ කතාව මෙසේය.

විද්‍යාලයේ පෙරදිග සංගීත ගුරුවරියට විදුහල්පතිවරයා එක්‌ දිනක්‌ ප්‍රකාශ කර තිබුණේ “ඔය හිනාව දැක්‌කාම ඉඹින්න හිතෙනවා” කියාය. මෙය නොහොබිනා විහිළුවකට වඩා ‘වැඩේ’ ඊළඟ පියවරක්‌ ලෙසද නාකි මනාල විදුහල්පති විසින් දියත් කරන උපායක්‌ බව ගුරුවරිය තේරුම් ගත්තාය.

පාසලේ පෙරදිග සංගීත කාමරයේ ගුරුවරිය තනිව සිටින අවස්‌ථාවන් බලා ඇය වෙත ගොස්‌ ඇගේ අඟ පසඟ අත පතගා අනියම් සබඳතා සඳහා පෙළැඹවීම් කිරීමට උත්සාහ කළ විදුහල්පතිවරයා, එවැනි ප්‍රයත්න ගණනාවක්‌ දරා ගුරුවරියගෙන් කම්මුල් පහරවල් කන තත්ත්වය දක්‌වා පහතට වැටී තිබුණි. ඉන් පසු බලහත්කාරය පැමිණෙන්නේ පරිපාලනය හරහා ගුරුවරිය අපහසුතාවයට පත්කිරීම මගිනි.

විදුහල්පති විසින් චක්‌ගෝල ගුරුවරයෙකු ද හවුල් කරගෙන බලහත්කාරය නැවත නැවත ඇයට සිදු කරන ලද අතර ඔහුට අවනත නොවුණහොත් පාසලෙන් ඉවත් කරන බවට පණිවිඩ එවන තැන දක්‌වා විදුහල්පතිගේ පිස්‌සුව ඔඩු දුවා තිබුණි. චක්‌ගෝල ගුරුවරයා එක්‌ වරක්‌ ගුරුවරියට යෝජනා කර ඇත්තේ, තමන් රුපියල් මිලියන 11 ක්‌ හෙවත් රු. කෝටියක්‌ සහ ලක්‌ෂ දහයක්‌ වටින නිවෙසක්‌ මිලට අරන් දෙන බවත් තමා සමඟ ජීවත් වීමට එකඟ වන ලෙසත්ය. ඇයට කොතෙකුත් අතවර සිදු කරද්දී ඇය අධ්‍යාපන සේවයේ නිසි බලධාරීන් වෙත පැමිණිලි කර ඇතත් එය සොයා බලා ඇයට යුක්‌තිය ඉටුකර දීමට කිසිවෙක්‌ ඉදිරිපත් නොවූවාය.

හිංසාවට පත් ගුරුවරිය සිය අවනඩුව මාධ්‍ය ඉදිරියට ගෙන යැමට තීරණය කළ අතර ‘සිරස විමර්ශන’ වැඩසටහනට ඇය විසින්ම මෙම කතාව පවසන්නට වුවාය.

2011 නොවැ. 22 වැනි දින එම වැඩසටහනේදී විදුහල සම්බන්ධයෙන් හා විදුහල්පතිවරයා සම්බන්ධයෙන් මාධ්‍යයට යම් යම් ප්‍රකාශ කරන ලදැයි චෝදනා කරමින් ගුරුවරිය පාසලෙන් නෙරපන්නට විදුහල්පතිවරයා පියවර ගත්තේ, තම ඉලක්‌කය සපුරා ගන්නට නොහැකි විට පළිගැනීමේ යාන්ත්‍රණය හරහා සුද්දවන්තයෙකු වීමටය. මේ අසාධාරණය පිළිබදව ගුරුවරිය විසින් කොල්ලුපිටිය පොලිසියට පැමිණිලි කළේ නීතිය ඉදිරියට යැමේ පළමු පියවර ලෙසය.

ගුරුවරියගේ වැඩ තහනම් කිරීමට විදුහල්පති පියවර ගත් අතර ආයතන සංග්‍රහය උල්ලංඝනය කරමින් පාසලේ සහ ගුරු මණ්‌ඩලයේ නමට කැළලක්‌ කිරීම ඇයට එරෙහිව තිබූ චෝදනාව විය. අවසානයේ ගුරුවරිය නතර වූයේ ශ්‍රේෂ්ඨාධිකරණයේය.

කොළඹ මහානාම විද්‍යාලයේ සිදුවූ විවිධ අකටයුතුකම්වලට එරෙහිව දෙමාපියන් විසින් සංවිධානය කළ විරෝධතා ව්‍යාපාරයක්‌ 2011.11.27 වැනිදා එම විද්‍යාලය අසලදී පැවැති බවත් එහිදී ඒ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස්‌ දැක්‌වීම කෙරෙහි උරණ වූ වගඋත්තරකාර හිටපු විදුහල්පතිවරයා හා ගුරුවරයා තමාට අවිනීත ලෙස බැණවැදී මානසික පීඩනයක්‌ ලක්‌ කළ බවත් එමගින් පෙන්වාදී තිබූ පෙත්සම්කාර ගුරුවරිය, වගඋත්තරකාර ගුරුවරයා තමාට ශාරීරික වශයෙන්ද පීඩා කළ බවත් පෙන්වා දී තිබුණි.

නඩුවේ පළමු පියවර ලෙස ගුරුවරිය යළි සේවයේ පිහිට වූ අධිකරණය පසුගිය බදාදා එහි තීන්දුව ප්‍රකාශයට පත් කළේය. අගවිනිසුරු කේ. ශ්‍රී පවන් මහතා විසින් ලියන ලද නඩු තීන්දුව විනිසුරු උපාලි අබේරත්න මහතාගේද එකඟත්වයෙන් ඒකමතික තීන්දුවක්‌ ලෙස ප්‍රකාශයට පත්වූ අතර හිටපු විදුහල්පති ප්‍රේමලාල් කුමාරසිරි හා ඔහු සමඟ විදුහලෙහි සේවය කළ තුසිත තිළිණ මාලේගොඩ යන දෙදෙනා විසින් රුපියල් ලක්‌ෂය බැගින් රුපියල් ලක්‌ෂ 02 ක වන්දි මුදල එම ගුරුවරියට ගෙවිය යුතු බවට අධිකරණය නියම කළේය. ප්‍රේමලාල් කුමාරසිරි විදුහල්පතිවරයාට එරෙහිව චෝදනා රැසක්‌ එල්ලවී තිබුණ අතර ඔහු අනිවාර්ය විශ්‍රාම යාමක්‌ ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරන ලද්දේ දරුවන් පාසලට ඇතුල් කර ගැනීම සඳහා පැමිණෙන අම්මලා, අදාළ ලේඛනහි බොරු අඩුපාඩු පෙන්වා ලිංගික අල්ලස්‌ ඉල්ලීමේ සිද්ධියක්‌ රහස්‌ පොලිසිය මගින් අනාවරණය කරගැනීමෙන් පසුවය.

ඒ කාලයේ මෙම විදුහල්පතිවරයා සහ තවත් උපගුරුවරයෙකු එක්‌වී මහානාමයට දරුවන් ඇතුළත් කරන්නට උවමනාවී පැමිණෙන මවුවරුන්ට අයුතු යෝජනා කර ඔවුන් ලිංගික අල්ලස්‌ ලබාදීමට පොළඹවන බවත් ඒ සඳහා එකඟවන අයගේ දරුවන් ඇතුළත් කරගන්නා බවත් වාර්තා වී තිබුණි.

මේ සියල්ල සඳහා විදුහල්පති ‘පැණියා’ පාඩම් ඉගෙන ගන්නේ අධිකරණයේදීය. රුපියල් ලක්‌ෂ දෙකක වන්දි මුදල වගඋත්තරකරුවන් විසින් පෞද්ගලිකව ගෙවිය යුතු බවටද අගවිනිසුරු කේ. ශ්‍රී පවන් හා විනිසුරු උපාලි අබේරත්න යන විනිසුරු මඬුල්ල නියෝග කොට තිබුණි.

වගඋත්තරකාර විදුහල්පතිවරයාගේ බලපෑම් හා අවශ්‍යතා අනුව නිසි පරිදි සිදුකළ පරීක්‌ෂණයකින් තොරව පෙත්සම්කාර ගුරුවරියගේ රාජකාරි කටයුතු තහනම් කිරීමට පියවර ගෙන ඇති බව තම අධිකරණයට පැහැදිලි වන්නේ යෑයි එකී තීන්දු ප්‍රකාශය මගින් ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී තිබුණි. එකී ක්‍රියා කලාපය මගින්ම ශ්‍රී ලංකා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 12 (1) ව්‍යවස්‌ථාව මගින් එනම් සෑම පුරවැසියකුටම ජාතිය ආගම හා වෙනත් අසමානකම් නොතකා එක හා සමාන ලෙසින් සැලකිය යුත්තේ කියන මූලික අයිතිවාසිකම වගඋත්තරකරුවන් විසින් කඩකොට ඇති බවත් අගවිනිසුරු කේ. ශ්‍රී පවන් හා විනිසුරු උපාලි අබේරත්න යන මහත්වරුන් විසින් පෙන්වා දී තිබුණි.

පාසලේ සිදුවූ කිසියම් අඩුපාඩුවක්‌ පිළිබඳව ජනමාධ්‍ය හමුවේදී හෙළි කිරීම සම්බන්ධයෙන් චෝදනා නගා පෙත්සම්කාරියට එරෙහිව කටයුතු කිරීමට වගඋත්තරකරුවන් පෙළැඹී ඇති බව ඉදිරිපත් වූ වාචික කරුණු හා ලිත කරුණු අනුව පෙනී යන්නේ යෑයිද සිය තීන්දු ප්‍රකාශය මගින් ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී තිබුණි.

එය පෙත්සම්කාරිය වෙත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 14 (1) (අ) ව්‍යවස්‌ථාව මගින් හිමිකර දී ඇති භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය කිරීමක්‌ වන්නේ යෑයිද ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ තීන්දු ප්‍රකාශය මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබුණි.

ඔසිත අත්තනායක
උපුටා ගැනීම දිවයින පුවත්පතෙන්

0 comments:

Post a Comment